Tuesday, November 22, 2011

අමා මහ නිවන්



අමා මහ නිවන් කෙලවර  පතාගෙන අපිත් හැමවිට
උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා
කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන
දකින දකින පන්සල් වල පව් හෝදනවා

මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල
අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා
සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත්  මරු සිරාට
වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා

අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වල
බුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවා
සිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්
අපිට වැරදිලා කියලා අපිම දන්නවා

Sunday, November 20, 2011

මාවතේ අපි




තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද

ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ

නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට

Friday, September 16, 2011

තනි මං



මහා කාන්තාරේ තනි පදුරක් වෙච්ච මං දිහා
බලාගෙන උඹලා  මොන තරම් දේ කිව්වද
මගේ උජාරුව.. මගේ ලොකුකම..
මහා හුලඟත් එක්ක උඹලා කී පාරක්
තනි මාව යට කරල දැම්මද
ඒත් උඹලා දන්නවනම් 
මම වැලි කැටයක් උනා නම් 
මේ යායම මගේ උන්ගෙන් පිරිලා කියලා
මගෙ හිත හැමදාමත් කියන විත්තිය

Wednesday, August 17, 2011

වයමි මම බෙරේ...


උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ
පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ
තැලුනු දෑඟිලින් දැනෙනා හැඟුම නැත සුවේ
තවත් මම කුමට වයමිද නුඹට බෙර පදේ

නුඹට පුද කෙරුනු ලෝකය ගෙවී ඇත මගේ
උරුම තනිකමට නුඹ නැත පිහිට හෙට දිනේ
මගේ පැල පමණි මන්දිර තැනී ඇත හිතේ
කුමට තනි රකිමි නුඹ ලග කිමද ඇති පලේ

නුඹට පමනි හිස නැවුනේ දෙවොල තුල මගේ
දුදන සිත් දනන් හට නුඹ පුදනු මට පෙනේ
උනුන් ලග දනින් වැදගෙන වයමි මම කෙසේ
කුමට නුඹ නමින් වයමිද හෙටත් මම බෙරේ

Tuesday, August 16, 2011

බැඳි පෙම්



වැසුනු දොරකඩ බලා හිදිනෙමි
සොදුරු මතකය සිතින් විදගෙන
මැකුනු පත් ඉරු දැක හඩන්නෙමි
ලියු පදවැල් සිතින් සිහි කර

නැගී බැස යන හිරුට නොපෙනෙන
ජීවිතේ දහසක් කතන්දර
බැදෙන දෑගිලි වෙරළ අද්දර
සයුරු රළකට මැකෙන ඉක්මන

නිමක් නොපෙනෙන සිතුම් අතරෙක
වෙලි පැටලී බැදී සිහිනෙක
කාලයේ වැලි තලා මග හැර 
ඔහේ බැස යමු ඉතින් මුහුදට

Thursday, August 11, 2011

උන්ද මිනිසුන්ය.




ජීවිතේ හරි පුදුමයි  හැමදාමත් වගේ පාර දිගට ඇහෙන දකින දෙවල් වලින් හිත පිරුනම ඒ බර හිතින් නිදහස් කරගන්න බ්ලොග් එක හොයාගෙන එන්න වෙනවා. නුවර මේ දවස් වල  හරිම කලබල  මොකද කියලා අමුතුවෙන් කියන්න ඕන කමක් නෑ නේ. පෙරහැර ,කානිවල් හවස් අතෙ ටවුමට යනවා කියන්නෙ සියදිවි හානි කරගන්නවා වගේ වැඩක්. කාලෙකට පස්සෙ රාජකාරි වැඩකට යන්ඩ උනා එලියට හරියටම ගිනි අව්වෙ 2ට විතර. පේරාදෙනිය පාරේ ගැටඹෙ හරියට එනකොට හරි තදබදේ මේ දව්ස් වල  ගැටඹේ පිට්ටනියේ තියනවා   කානිවල් එකක් .  වාහන අතරේ හෙමින් හෙමින් ආපු මං දැක්කා පිට්ටනිය අයිනෙ කානිවල් එකට එන්ඩ බලන් ඉන්න මිනිස්සු අතරට ගිහින් කියක් හරි ඉල්ලගන්න වයසක ආච්චි කෙනෙක් ඇත්තටම  ඒ මනුස්සයට ඇවිදගන්නවත් බෑ අඩියක් යන්න විනාඩි 5ක් විතර ගත වෙනවා. හැමෝටම ඒ මනුස්සයා වදයක් වෙලා සමහරු ලේන්සුවෙන් නහය වහගෙන සමහරු අහක බලාගෙන. දළදා හාමුදුරුවන්ට පිං තකා පවත්වන මේ සල්පිල් වලින් බඩු ගන්ඩ ගෙනාව සල්ලි මේ නාකි ගෑනුන්ට දීලා පුලුවන්ද නේද. මං බයිසිකලේ පොඩ්ඩක් පැත්තකට කරලා නවත්තගත්තේ ඒ මනුස්සයට කීයක් හරි දීලා යන්ඩ හිතන්.ඔහොම දෙයක් දැක දැක ගියාම මාසයක් යනකම් ඕක හිතේ හොල්මං  කර කර වද දෙනවා කියලා අත්දැකිමෙන් දන්න නිසා. හිතට පගාවක් දීලා ෂේප් වෙන්ඩ මං තීරණය කලා. බයිසිකලේ අයින් කරලා මං ඒ මනුස්සයා ඉන්න දිහා බැලුවා ...................


ඔන්න දැනුයි කතාව පටන් ගන්න හදන්නේ


අර කියපු වයසක ගෑනු කෙනා ලගට වෙලා  පොලිසියෙ කෙනෙක් මොනවද අහනවා . ඒ මනුස්සයා ඔහේ මොන මොනවද කියවනවා. විනාඩි 5ක් විතර ඔහොම ගතවෙලා ගියා. ඊට පස්සෙ පොලිසියෙ කෙනා අර වයසක මනුස්සයගෙ අතිං අල්ලගෙන  ටිකක් එහාට එක්කගෙන ගියා. ගිහින් හෙවනකට වෙන්න වාඩි කලා. ඊට පස්සෙ ආයෙම පාරෙ අනිත් පැත්තට ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා. මමත් ඔහේ බයිසිකලේ උඩට වෙලා මේ මොනවද වෙන්නෙ කියලා බලන් හිටියා.ටික වෙලාවකට පස්සෙ  පාරේ අනිත් පැත්තට ඇවිදගෙන ගිය පොලිස් රාලහාමි බත් පාර්සලයක් අරන් ඇවිත් අර මනුස්සයා ලග බිම තියලා ඒක දිග ඇරලා දුන්නා. ඒ වයසක මනුස්සයාට ඇත්තටම බත් එක කන්න තරම් වත් පනක් නෑ බොහොම අමාරුවෙන් ඒ මනුස්සයා ඒක කන්න පටන් ගත්තා. ඒ අතරෙදි වතුර  බෝතලයක් අරන් ආව අර පොලිසියේ මහත්තයා. එතෙන්ට වෙලා ඒ මනුස්සයා කන දිහා බලාගෙන හිටියා. ඇත්තටම මං කාලෙකට පස්සෙ මිනිහෙක් දැක්කා. දාහක් දෙනා නහය වහගත්ත අහක බලාගත්ත ඒ මනුස්සයට  පිහිට වෙන්න එකෙක් හරි හිටිය එක ගැන ඇත්තටම ඒ වෙලාවෙ  සතුටු හිතුනා. පොලිසිය කියන වචනෙත් එක්ක අපිට ඉස්සර වෙලාම හිතේ ඇදෙන්නෙ නරක චිත්‍රයක් . ඒක අපේ වරදක් නෙවේ ඔය මොහොත වෙනකම් මමත් එහෙමයි. ඒත්  හැමතැනකම එකම විදියේ මිනිස්සු නෑ.  වැලිකඩ තාප්පෙ ගහලා තියනවා "සිරකරුවෝද මිනිසුන්ය කියලා" ඒ වෙලාවෙනම් මට හිතුනා පොලිස්කාරයෝද මිනිසුන්ය කියලා. බයිසිකලේ ස්ටාට් කරගෙන මං එතනින් එනකොටත් ඒ පොලිසියේ කෙනා අර මනුස්සයා කෑම එක කන දිහා බලං හිටියා.. මේක වෙන අයට මහා ලොකු කතාවක් නොවෙන්න පුලුවන් ඒත් මට ඒක ගොඩාක් ලොකු කතාවක්........

Sunday, July 3, 2011

අහන්න එපා



අහන්න එපා ආයෙමත් 
වැස්සක් නැතුවත් මොකටද කුඩ ඉහලගෙන කියලා 
...................
සදාචාරෙන් විලි වහගත්ත
හැදිච්ච කමට හැංගිලා බලන
පිංවන්ත උඹලාගේ කටවල් වලින්  
ආදරේ කරන්න තියන එකම තප්පරෙත්
බණ අහන්න අකමැති නිසා

යුතුකම



මහත්වරුනේ හොඳින් බලාපන්..
රට වෙනුවෙන් ගිනි බිඳි  ගත
බලා සිට පලක් නැත හිස් සයුර දෙස
හරවාපාන් මා අනික් පසට
රට වනසන උන් දැක 
බිඳින්නට ගිනි

පිං කැටේ



අනේ තාත්තෙ කියහන්කො..
අපි  පිං පෙට්ටියට දාන පඬුරු
දෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා

ඒත් එක්කම මට කියහන්කො
සිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..
අපි දෙන සතෙන් සතේ එකතු කරනවද
පිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද

පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්
සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ



Saturday, May 7, 2011

සිතක සිතුවිලි



මහා මන්දිර සඳලුතලවල
නම්බුවේ ගුණ රුවේ ඔපයට
හැදෙන වැඩෙනා අපේ උන් ගැන
නොමැත තරහක් අපේ හිත් වල

වදන් ගලපා කියන්නට බැහැ
නැගෙන කුසගිනි කතාවන් ගැන
රජුන් බුදිනා බොජුන් හල් ළඟ
නොමැත උණු වෙන දයා සිත් ලොව

කුලේ තිරිසන් උණත් හිතවත
දැනේ අපටත් කුසේ හිස් බව
නොතේරී නොව අහක බැලුවේ
බුදුන් වඳිනා බොහෝ සිත් අද

අද්දර ජීවිත



මැඳුරු දොරකඩ පිලක ඉහිරෙන
බත් පතක රස බලන හිතකට
උන්ගේ කරුමය කියනු වෙනුවට
නැතිද ලෙංගතු වදන් හිත අග

හිතක නිකැළැල් වේදනාවන්
දකින තුරු බිඳ චේතනාවන්
උන් ලගින අතු පැලක අහලින්
වැඩ සිටීවිද දේවතාවන්

පන්සලේ බණ මඩුව කොනකින්
උන්ට ඉඩ නැති අරුම දකිමින්
සරණ තිසරණ නොදැක රහසින්
උන් දකීවිද නිවන් කෙලෙසින්

අඳ නෙත්


කඳුළු කරදර නොමැති හිතකට
සිනාසෙන්නට බැරි නිසා
මල් පිපෙන ලොව සුවඳ උරුමව
පැහැය නොපෙනෙන පව නිසා

ප්‍රේමයේ හැඩ නොදැක කිසි දින
අසන සරදම් පෙම් කතා
මලට ලං වෙන බමර හිත් වල
නැහැ දකින්නේ පෙම් සිනා

ගමන නොනිමෙන මගක ඉඳ හිට
හිතට ලං වෙන හිත් පවා
අඳුරු හිතකට පෙම් බඳින කල
පළා යන්නේ හිරු කරා

Monday, March 7, 2011

සංගිලි පාලම




ගල්තලාවට උඩින් යාන්තමට ඉර එළිය වැටිලා.
ලොකු හාමුදුරුවෝ හෙමින් ඇස් ඇරියා.. භාවනාව හිතට සතුටක් උනත් නිවන තව කොයි තරම් දුරද? උන්නාන්සෙට එහෙම හිතුණා.

හෙමින් හෙමින් ගල් තලාව පහළට බැහැපු ලොකු හාමුදුරුවෝ කවදත් පුරුදු පාත්තරේ අතට අරන් ආවාස ගේ පැත්තට ආවා...

"නුවන් කොලුවෝ....."

පන්සලෙන් එළියට බහින්න කලියෙන් නුවන් කොලුවට කියල යන්න ඕන.
මේක මේ උදේ පාන්දර කොහේ ගියාද....


ඈත වෙල් යාය දිගේ නුවන් කොලුවා හති දාගෙන දුවගෙන එනවා යාන්තමට වැටිල තියන එළියෙන් පේනවා.
බුලත් හෙප්පුව අතට ගත්තු හාමුදුරුවෝ බුලත් විටකට කළමනා එකතු කොරන්ඩ පටන් ගත්තා.
"අපේ හාමුදුරුවනේ... පිණ්ඩපාතේ වඩින්නද?"
නුවන් කොලුවගේ ඉහේ ඉඳලා පාදාන්තෙට බලපු ලොකු හාමුදුරුවෝ හිස සැලුවා.
"කොහෙද කොලුවෝ උදේ පාන්දර ගියෙ?"
"ලතා අක්කලගේ ගෙදර ගියා හාමුදුරුවනේ."
"මේ උදේ පාන්දර?"
"පෙරේදා දානේ ගෙනාව භාජන ටික ගෙහින් දුන්නා."
"හ්ම්..."
"මිනිස්සුන්ටත් දැන් හරි අමාරුයි.. දානේ දෙනවා තියා උන්ට කන්ට බොන්ටවත් නෑ."

"මන් ගොහින් එන්නම් පොඩ්ඩක් පන්සලට වෙලා හිටහන්.."

"එහෙමයි හාමුදුරුවනේ"
පන්සලේ ගේට්ටුව පහු කරනකම් ඒ දිහා බලන් උන්නු නුවන් කොලුවා කටින් සද්දෙකුත් දාගෙන ආවාස ගේ පැත්තට වැදුණා..
කඳු ගැටේ නැගගෙන ආව ලොකු හාමුදුරුවෝ ඈතින් පේන සංගිලි පාලම දැකලා නතර උණා... ජීවිතේ පළවෙනි පාර බලන්න වගේ
හාමුදුරුවෝ ඒ දිහා බලන් උන්නා ..

ගමට එන්න පාලමක් නොතිබුණ හැටි....
ජන්ද කාලෙට තුරුම්පුවක් උනු පාලම් හීනේ...
අන්තිමට ගමේ උන් කෑ ගහල බෝඩ් උස්සන් ඉඳලා මුල් ගල් පැලකරලා
අවුරුදු ගානකට පස්සේ මේ මහා පාලම් රාජයා හැදුණු හැටි....
කාලාන්තරයක් පාරුවෙන් මිනිස්සු එගොඩ කරපු සූටියා ගමෙන් ගියපු හැටි...
එක පොදියට හාමුදුරුවන්ගෙ හිතේ මැවිලා පේන්න ගත්තා.

-ජපනත් හරි පුදුම මිනිහා! විශ්වකර්මයෝ තමයි.
පාලම හැදුන මුල් කාලේ ගමේ උන් පාලම හදපු ජපන් ඉන්ජිනේරු මහත්තයා දැක්කම කියපු කතාවක් හාමුදුරුවන්ට මතක් උණා.
"විශ්වකර්මයෝ..."
එහෙම කියපු හාමුදුරුවෝ ආයෙම ගමන පටන් ගත්තා.
පාලමට කිට්ටු වෙනකොටම පාලම් ගැට්ටට හේත්තු වෙලා මාළු බාන ගුණපාල හාමුදුරුවන්ගේ ඇහැ ගැහුණා,,,
ගුණපාල ළඟදී ගමට ආව කා එක්කවත් වැඩි ආස්සරයක් නැති මනුස්සයෙක් ..
කී පාරක් නම් මේ මනුස්සයට තමුන් අවවාද කරල තියනවද කියලා හාමුදුරුවන්ට හිතුණා.
"ගුණපාල පව් කරපු මාළු හොයනවා වගෙ!"
නහින මාළුවෙක් තමන්ගේ ඇමට කට තියනකම් බලන් හිටපු ගුණපාල එකපාරට ඇහුණු කටහඬට හැරිලා බැලුවා.
"අපෙ හාමුදුරුවනේ.."
කාත් කවුරුත් නැති තැනක පොලීසියට අහු වුණු වැරදි කාරයෙක් වගේ ගුණපාල බිම බලාගත්තා.
"අපි කවුරුත් ජීවත් වෙන්ඩ ආසයි නේද ගුණපාල... "
කාගෙ උනත් පණක් නසන එක පව්කාර වැඩක්. ඕනම සතෙක් බලන්නේ තව විනාඩියක් හරි තමුන්ගේ ජීවිතේ ගෙනියන්න.
උන්ගේ උණත් පැටවුන්ට හවුහරනක් නැතිවෙලා යනවා. උන්ට කන්ට බොන්ට හොයල දෙන්ට එකෙක් නැති උණාම.
දැන් ගුණපාල ඔය මාලුවා උණා නම්?
ගුණපාල ඔය කොක්කේ ඇමිනුණාම ගුණපාලගේ ළමයින්ට කන්ට බොන්ට දෙන්ට එකෙක් නැති වෙනවා නේද..?"
ගුණපාල අසරණ විදියට ලොකු හාමුදුරුවෝ දිහා බලන් උන්නා...
"අපේ වැරැද්ද ඕක තමයි ගුණපාල. අපි හිතන් ඉන්නේ ළමයි දරුවෝ ඉන්නේ, ජීවත් වෙන්ට අයිතියක් තියෙන්නේ අපිට විතරයි කියලා.
ලෝකෙ හැම සතාටම ඔය අයිතිය තියනවා කියලා අපි හිතනවනම් , අපි ඒක රකිනවනම් අපිට නිවනට දුර නෑ."
හිස පහත් කරගෙන අහන් ඉන්න ගුණපාල දිහා බලාගෙන ලොකු හාමුදුරුවෝ එහෙම කිව්වා..
"දැන් ගුණපාල මහන්සි වෙලා, වෙන දෙයක් කරලා ගොඩ යන්ට බැලුවනම් හොඳයි නේද? මොනා හරි දෙයක් තියේ නම් පන්සලට ඇවිත් මාව හම්බවෙන්ට. මම ග්‍රාම සේවක මහත්තයටත් කියල බලන්නම්කො."
"හොඳමයි හාමුදුරුවනේ."
තමුන්ගේ කකුල් දෙක ළඟ දණ ගහල වැන්ද ගුණපාල දිහා බලල "බුදුසරණයි" කියපු ලොකු හාමුදුරුවෝහෙමින් හෙමින් පාලම පහු කළා..
ජීවිතේ තේරුම් ගන්න බැරි මිනිස්සු නිකන් පව් පුරවගන්නවා..
ලොකු හාමුදුරුවෝ තමුන්ටම කියාගත්තා.
හන්දියේ කඩේට ගොඩ උණු ලොකු හාමුදුරුවෝ දැකපු මාටින් මුදලාලි කඩි මුඩියේ නැගිටලා හාමුදුරුවෝ ළඟ බොහොම අමරුවෙන් දණ ගහලා වැන්දා.
"අපේ හාමුදුරුවනේ පොඩ්ඩක් ඉඳින්න, සුදු රෙද්දක් ගේනකම්."
"ඕනේ නෑ මුදලාලි මම යන්ට ඕන."
"මැණිකේ විගහින් ආවනම්.... හාමුදුරුවෝ වැඩලා"
ගෙයි ඉඳලා පාර්සලේකුත් අරන් ආව මුදලාලි හාමිනේ පාත්තරේට ඒක දමලා හාමුදුරුවන්ට වැන්දා..
"සුවපත් වේවා....."
"මුදාලාලි මේ ගුණපාලගේ ගෙදර කොහෙද?"
"මේ අපේ මාළු ගුණපාලයද හාමුදුරුවනේ?"
"ඔව්.."
"මොකද හාමුදුරුවනේ, ඌ හාමුදුරුවන්ට මොනා හරි කිව්වද?"
"නෑ මුදලාලි, මම නිකන් ඇහුවේ. මම එද්දි ගුණපාල මාළු බබා හිටියා."
"ආ... ඒක මිසක්. මහ පව් කාරයා හාමුදුරුවනේ... ඔය දෙවැටේ කෙළවර ගෙදරනේ."
"හ්ම්ම්... එහෙනම් මුදලාලි මන් ගොහින් එන්නම්...."
හාමුදුරුවෝ දෙවැට දිගේ ඇතුළට යනකම් මුදලාලි බලන් උන්නා...
පොල් අතු වහලා හතර කොණ දිරපු ගෙයි පිළිකන්නේ පොඩි එකෙක් මඩ තලනවා...
ගෙයි ඉස්සරහා බුදු පහනක්...

මේ ගේ නෙවේ... හාමුදුරුවන්ගේ හිතට එහෙම දැනුණා.

හාමුදුරුවෝ දැකපු පොඩි එකා කෑ ගහන්ට පටන් ගත්තා...
"අම්මේ... සාදූ..... අම්මේ..... සාදූ....."
කිලිටි චීත්තයක් ඇඳගෙන දිරාපත් උණු ගෑණු රූපයක් ඒ එක්කම දොරින් මතු උණා..
හාමුදුරුවෝ දැකපු ගමන් ගුණපාලගේ බිරිඳ බය උණු බව හාමුදුරුවන්ට වැටහුණා...
"මේ... ගුණපාලගේ ගෙදරද?"

"ඔව් අපේ හාමුදුරුවනේ."
හාමුදුරුවො ළඟට ආව පියවතී හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා...
"තෙරුවන් සරණයි.."
"මේ ගුණපාලගේ නෝනා වෙන්ඩ ඕන."
" එහෙයි හාමුදුරුවනේ."
"මේ දරුවා විතරද?"
"නෑ හාමුදුරුවනේ, කෙල්ලෝ දෙන්නයි .. කොල්ලයි."
"හ්ම්..."
"අනේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ට ඉඳගන්ඩ දෙන්ඩවත් පුටුවක් නෑ, අපේ හාමුදුරුවනේ."
පියවතී එහෙම කිව්වට වඩා පියවතීගේ ඇස් දෙකෙන් ඒ හැඟීම හොඳින්ම තිබ්බ කියලා හාමුදුරුවන්ට දැනුණා..
"නෑ මෙහෙම හොඳයි.."
"මන් මේ යන ගමන් නිකමට ගොඩ උණේ. මොකද මේ ගුණපාල රස්සාවක් කොරන්ට එහෙම කැමැත්තක් නැද්ද? ඔහොම මාළු අල්ලගෙන හැමදාමත් පවුල් රකින්ට පුලුවනෑ... අනික පර පණ නසලා හම්බ කරන එක පව් නේද?

පියවතී අසරණ විදියට බලන් ඉන්නව දැකපු හාමුදුරුවෝ කතාව නවත්තලා බුලත් කෙළ පාරක් බිමට ගැහුවා.

"ගුණපාලට පුලුවන් නේ වෙන රස්සාවක් කරන්න. මන් කීප විටක්ම කිව්වා පන්සල පැත්තේ එන්ට කියලා කෝ කිසි උනන්දුවක් නෑ නේ.
තමුන් වත් කියන්නේ නැද්ද ගුණපාලට රස්සාවක් කරන්ට කියලා?"

කතා බහක් නැති පියවති දිහා බලපුවාම පියවතිගේ ඇස් දෙකෙන් ගලන කඳුළු පාන්දර ඉර එළියට දිලිසෙනවා හාමුදුරුවො දැක්කා...

"කොහොම කියන්නද හාමුදුරුවනේ? අපි හින්දම නැහිලා ලෙඩා උණ මනුස්සයා නේ."

"ඒ කිව්වෙ.... "
"අපෙ මනුස්සයා ඉස්සර වැඩ කළේ පාලම් පොළවල් වල හාමුදුරුවනේ. කලුතර පාලමක් හදන්න ගිහින් ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගිහින් කොන්ක්‍රීට් කණුවක් ඔලුවට වැටිලා, ගුණපාලට දැන් මහන්සි වෙන්ට බෑ හාමුදුරුවනේ..එදා ඒ මැරෙන්ට ගිය මනුස්සයා බේරගන්ට නොගියනම් අද අපි හොදින් ජීවත් වෙනවා හාමුදුරුවනේ ...
ගුණපාල අපිට ඉස්සර කිසිම අඩුවක් කරලා නෑ..
ලෙඩා දුකා වෙලත් දැන් ඔය මාළු ටික හරි විකුණලා.. අපිට කන්න දෙනවා.."

තමා ඉදිරිපිට ජීවිතේ තවත් කතාවක් දිග හරින ගැහැණිය දෙස බලා සිටි හාමුදුරුවෝ කිසිවක් සිතා ගැනීමට නොහැකිව හිස් අහස දෙස බලා සුසුමක් හෙළුවේ කල්පයක් හිතේ තබා සිටි බරක් පිට කළ සේය.

"ඉතින් කොහොමද හාමුදුරුවනේ මන් ඒ මනුස්සයට කියන්නේ රස්සාවක් කරලා අපිට කන්න දෙන්න කියලා?"

"හ්ම්ම්.."

"ගුණපාලට කියමු නිකන් ඉන්න වෙලාවක පන්සල පැත්තේ එන්න කියලා අපි පුලුවන් දෙයක් කරන්න බලමුකො."
"එහෙමයි හාමුදුරුවනේ."
"එහෙනම් මම ගොහින් එන්නම්."

කඳුළු පිස දමා තමුන්ට වැඳ වැටුණු ගැහැණියට ආශීර්වාද කළ හාමුදුරුවෝ නැවතත් පන්සල වෙත පිය මැන්නා.
කිසිවක් සිතා ගන්නට නොහැකිව තමාගේ සිතත් අසරණ වී ඇති බව හාමුදුරුවන්ට වැටහුණා.
ගමේ මිනිස්සු ගුණපාල ගැන දන් නෑ... හාමුදුරුවෝ තමාගේ හිත සාධාරන කර ගත හැකි එකම කාරණය හිතින් මිමිණුවා.

සංගිලි පාලම පේන මානයට ආ හාමුදුරුවන්ට නැවත තමා ගුණපාලට කී කතාවත් , පියවතී තමුන්ට කී කතාවත් මතක් උණා.....


"දැන් ගුණපාල ඔය මාළුවා උණා නම්?
ගුණපාල ඔය කොක්කේ ඇමිනුණාම ගුණපාලගේ ළමයින්ට කන්ට බොන්ට දෙන්ට එකෙක් නැති වෙනවා නේද?
අපේ වැරැද්ද ඕක තමයි ගුණපාල අපි හිතන් ඉන්නේ ළමයි දරුවෝ ඉන්නේ , ජීවත් වෙන්ට අයිතියක් තියෙන්නේ අපිට විතරයි කියලා.
ලෝකෙ හැම සතාටම ඔය අයිතිය තියනවා කියලා අපි හිතනවනම්, අපි ඒක රකිනවනම් අපිට නිවනට දුර නෑ."

" අපෙ මනුස්සයා ඉස්සර වැඩ කළේ පාලම් පොළවල් වල හාමුදුරුවනේ. කලුතර පාලමක් හදන්න ගිහින් ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගිහින් කොන්ක්‍රීට් කණුවක් ඔලුවට වැටිලා, ගුණපාලට දැන් මහන්සි වෙන්ට බෑ හාමුදුරුවනේ..
එදා ඒ මැරෙන්ට ගිය මනුස්සයා බේරගන්ට නොගියනම් අද අපි හොඳින් ජීවත් වෙනවා හාමුදුරුවනේ ...
ගුණපාල අපිට ඉස්සර කිසිම අඩුවක් කරලා නෑ..
ලෙඩා දුකා වෙලත් දැන් ඔය මාළු ටික හරි විකුණලා.. අපිට කන්න දෙනවා.."

තමා දැන් පාලම පහු කරන්නේ නම් ගුණපාල තවමත් මාළු අල්ලමින් සිටිනවා විය හැක.

ඈතින් පේන සංගිලි පාලම දිහා බලන් හිටපු හාමුදුරුවෝ පියවරක් ආපස්සට තිබ්බා.

"දැන් බස් එක එනවනේ. බස් එකේම යනවා..."




Time in Sri Lanka: