ඉරිතලා වැටුනු ගං ඉවුරු දිගේ
අපි ඔහේ ඇවිද යමු මතක දිගේ
නුබට මතක නැති මට අමතක නැති
මතක පොතේ පිටු යලි පෙරලන්නට
යොදුන් ගනන් දුර හෙමින් ඇවිද යමු
එදා මතක යලි හිතට නැගෙන තුරු
දිනෙන් දිනට දින පොත පෙරලා හරි
යලිත් මවන්නම් එදා දවස් යලි
රෑ අහසේ පුන් සඳකි නුබේ සිරි
ලඟ ඉන්නම් තරුවක් විලසින් හරි
හිතක් පිරෙන්නට ඇතත් මතක පොදි
එදා ලගින් ඉඳ පෙමින් බැඳුන හැටි
හෙමින් හෙමින් මතකෙට නැගෙනා හැටි
බලං ඉදිමි මම ගෙවෙන තුරා දිවි
කවියේ කතන්දරේ -
ටික කාලෙකට කලිං අපේ අම්මට ලොකු ඔපරේශන් එකක් කරන්න උනා. මොලේ තිබ්බ ගෙඩියක් ඉවත් කරන්න ඉතිං ඒ දවස් වල ඉස්පිරිතලෙ සහ ගෙදර කියන්නෙ දෙකම එකක් වගේ. උදේ ඉස්පිරිතාලෙට ගියාම ආයෙ එන්නෙ මහ රෑට. ඔය වගේ ගිය දවසක මම ඉස්පිරිතාලෙ බංකුවකට වෙලා ඉදගෙන හිටියා. මොකද අම්මා හිටිය වාට්ටුවට යන්නෙ පාස් වලින් වරකට දෙන්නා ගානෙ. ඒ වෙලාවෙ මම හිතන්නෙ ක්ලිනික් එකකට ආව තරුන වයසෙ ජෝඩුවක් මං කිට්ටුවම උන්නා. ගෑනු ලමයගෙ හිසේ සැත්කමක් කරපු සලකුනු තිබුනා. කොල්ලා තොරතෝංචියක් නැතුව කියවනවා කෙල්ල බොහොම අහිංසක විදියට හිනා වේගෙන උත්තර දෙනවා..
කොල්ලාගෙ හැම ප්ර්ශ්නයක්ම වගෙ ඉවරවෙන්නෙ " ඔයාට මතකද ? " " ඔයාට මතකද ? " කියලා ඔවුන් ගියපු තැන් ඔවුන්ගේ නෑදෑයෝ මතක් කරමින් කොල්ලා ප්ර්ශ්න අහනවා..
ගෑනු දරුවට ඇත්තටම මතක නෑ ඒත් කොල්ලගෙ හිත රිදෙයි කියන එකයි තමන්ට මොකද වෙලා තියෙන්නෙ කියන දෙගිඩියවෙනුයි කෙල්ල හැම එකටම උත්තර බදිනවා..
එදා මං හිටපු ප්ර්ශ්න ගොඩත් එක්ක මට ඒක එක සිදුවීමක් උනත්.. අද අහම්බෙන් ඕක කල්පනාවට ආව.
තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.....